
කොන්දේසි දෙකක් ඉටුවන තුරු සලේ ආහාර වර්ජනයේ
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව වාර්තා වේ.
ඊයේ (08) දිනයේදී ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ නීතිඥවරයාට සලේ මහතා හමුවීමට අවස්ථාව ලබාදී තිබූ අතර, එහිදී තමන් තවමත් උපවාසය අත්නොහැර ඇති බව ඔහු දැනුම් දී ඇති බව සඳහන්ය.
තමා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඉවත් කළ යුතු බවත්, තමන් රඳවා සිටින ස්ථානය වෙනස් කළ යුතු බවත් ඉල්ලමින් ඔහු මෙම ආහාර වර්ජනයේ නිරතව සිටින බව වාර්තා වේ.
මේ අතර සලේ මහතාට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙයි. ඊයේ රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එම සත්‍යග්‍රහයට එක්ව සිටි බව වාර්තා විය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ කුමන බාධාවන් එල්ල වුවද මෙම සත්‍යග්‍රහය නතර නොකරන බවයි. සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ සලේ මහතා නිදහස් කරන තුරු මෙම විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, එය රණවිරුවන්ට සිදුකරන ලද බරපතළ අපහාසයක් බවත්ය.
කෙසේවෙතත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සුරියආරච්චි මහතා ප්‍රකාශ කළේ සලේ මහතා සම්බන්ධ කාරණය දැනට අධිකරණ ක්‍රියාවලියට යටත්ව පවතින බැවින් අනවශ්‍ය කලබල ඇති කරගත යුතු නොවන බවයි. අධිකරණය මඟින් එම ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙනු ඇති බවත්, කිසිවෙකුට එරෙහිව ආණ්ඩුව වෛරයෙන් කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



