ප්‍රධාන පුවත්

සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට හදිසියේම ලිපියක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ මහතාට අමානුෂික ලෙස සැලකීම, වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ නිල බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් එම ලිපියෙන් අවධානය යොමු කර ඇත.

ඊයේ (06) සලේ මහතා හමුවූ ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා වෙත ලබාදුන් තොරතුරු මත පදනම්ව කරුණු 10ක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒවා මගින් ඔහුගේ ජීවිත ආරක්ෂාව, සෞඛ්‍ය තත්ත්වය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ ගැටලු මතුව ඇති බව පෙන්වා දී ඇත.

තමා මුහුණ දෙන අසාධාරණයන් සහ මානසික පීඩනය හේතුවෙන් මරාන්තික උපවාසයක් ආරම්භ කළ බවද සලේ මහතා පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම, අධිකරණයේ විභාග වන රීට් පෙත්සම් මගින් තම නිර්දෝෂීභාවය තහවුරු වනු ඇතැයි විශ්වාස කරන බවත්, තමන්ට අනතුරක් සිදුවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස නීතිඥයන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මනෝරි සලේ මහත්මිය සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මීට පෙර මාර්තු 07 දිනද සමාන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

එබැවින් පෙර පැමිණිල්ල සහ නව කරුණු සැලකිල්ලට ගනිමින් කඩිනම් විමර්ශනයක් පවත්වා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඇය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button