අධ්‍යාපන

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව නවීකරණය කළ යුතුයි – අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව, නව පරම්පරාවේ අවශ්‍යතා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලීම්වලට ගැළපෙන ලෙස නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කර තිබේ.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කර ඇත්තේ සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්‍යුහය සහ සහතිකකරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණින්ය.

එහිදී වෘත්තීය විෂය ධාරාව සංවර්ධනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු මෙන්ම එම විෂය හදාරන සිසුන්ට උසස් අධ්‍යාපනය වෙත ප්‍රවේශ වීමට ඇති නව අවස්ථා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

තවද, නිසි තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් මඟින් මෙම විෂය ධාරාව හදාරන සිසුන්ට පිළිගත් වෘත්තීය මාර්ගයක් සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය වී තිබේ.

වෘත්තීය විෂය ධාරාවට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා සුදුසු තේරීම් ක්‍රමවේදයක් යටතේ සිසුන් බඳවා ගැනීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත.

එමෙන්ම උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම සඳහා පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්‍රමවේදයක් හඳුන්වාදිය යුතු බව ද ඇය සඳහන් කළාය.

වෘත්තීය අධ්‍යාපනයේ සමාජීය හා ආර්ථික වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ඒ හරහා බිහිවන රැකියා අවස්ථා පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවේදී අවධාරණය වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button