
කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණයට නීතිඥයින් දෙදෙනෙකු සාක්ෂි සඳහා කැඳවයි
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මරණ පරීක්ෂණයේදී ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ උදාර මුහන්දිරම් මහතා සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (02) දින කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ඔවුන් දෙදෙනාට සිතාසි නිකුත් කර ඇති අතර, ලබන 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස ද නියෝග කර ඇත.
මේ අතර, මරණකරුගේ ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එය FBI මාර්ගයෙන් ඇමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර අධිකරණ අමාත්‍යාංශය හරහා ගෙන යන බව කොළඹ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.
මරණකරුගේ නිවසේ තිබී සොයාගත් කොළ පැහැති බඳපටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කළ ඉල්ලීමට ද අධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම සාක්ෂි ආඥා පනතේ 126 වගන්තිය සහ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නීති ප්‍රතිපාදන අනුව, කපිල චන්ද්‍රසේන මහතා විසින් නීතිඥවරුන්ට හෙළි කළ හෝ ඔවුන් විසින් ලබාගත් ලිඛිත හා වාචික තොරතුරු අනාවරණය නොකිරීමට තීරණය කළ බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේදී සඳහන් කළේය.
19 සහ 20 වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කළ මෙම නීතිඥවරුන්ගේ සාක්ෂි විමසීම සඳහා නඩුව ලබන 05 වැනිදා දක්වා කල් තබා ඇත.



