
සවස 3 දක්වා සූර්ය පැනල අක්රිය කරන්නැයි ඉල්ලීමක්
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කරමින් හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමේ අරමුණින් අද (31) පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා වහල මත සවි කර ඇති සූර්ය පැනල පද්ධති ස්වේච්ඡාවෙන් ක්රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු (NSO) සමාගම ඉල්ලීමක් කර තිබේ.
සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින් වෙත මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහාය. පද්ධතියට අතිරික්ත විදුලි බලය එක්වීමෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමද මෙහි අරමුණක් ලෙස සඳහන් වේ.
ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් ඊයේ (30) දිනයේ කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයක පැය කිහිපයක් විදුලි සැපයුම බිඳවැටීම් වාර්තා විය. වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් විදුලි ඉල්ලුම අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් පහළ යාමත්, සූර්ය බලශක්තියෙන් ජනනය වූ විදුලිය ඉහළ යාමත් මෙම තත්ත්වයට හේතු වූ බව වාර්තා වෙයි.
ඒ අනුව ඊයේ දිනයේද පස්වරු 3.00 දක්වා සූර්ය පැනල පද්ධති ස්වේච්ඡාවෙන් අක්රිය කරන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, පස්වරු 2.15 පමණ වනවිට විදුලිය බිඳවැටුණු ප්රදේශවල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට හැකි වී තිබුණි.



