ප්‍රධාන පුවත්

බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් වන අතර, නීතිපති උපදෙස් අනුව පොදු දේපළ පනත යටතේ සැකකරුවන් නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

සිද්ධියට අදාළව හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක්ද සැකකරුවන් ලෙස නම් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ පදිංචි ස්ථාන වෙත ගියද, එම අවස්ථාවේ ඔවුන් එහි නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අතර, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට විදේශ ගමන් තහනම් කරමින් ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසද නියෝග කළේය.

2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කරමින් සංචාරක ප්‍රචාරණ කටයුතු සඳහා බව පවසමින් ටීෂර්ට් 12,000ක් මුද්‍රණය කර ඇති බවත්, එම ටීෂර්ට්වල එක් පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූපය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නාමය මුද්‍රණය කර තිබූ බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

එම ටීෂර්ට් මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති දේශපාලන වැඩසටහනක් සඳහා බෙදාහැර ඇති බවද අධිකරණයේදී අනාවරණය වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button