ප්‍රධාන පුවත්

පොලිස්පතිගේ නමින් සිදුවන සයිබර් කප්පම් ජාලයක් ගැන විමර්ශන

පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සන භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන හා කප්පම් ගැනීමේ ජාලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවය.

විමර්ශනවලදී පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නමද භාවිතා කරමින්, පොලිස්පතිවරයාගේ ව්‍යාජ අත්සන යොදාගෙන කප්පම් ඉල්ලන විද්‍යුත් තැපැල් ජාලයක් ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත.

මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවද පොලීසිය පෙන්වා දෙයි.

ඒ අනුව, නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන සැකසහිත හෝ තර්ජනාත්මක ඊමේල් පණිවුඩ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම එවැනි පණිවුඩවලට පිළිතුරු ලබාදීමෙන්, මුදල් ගෙවීමෙන් සහ ඊමේල්වල අඩංගු සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසද දැනුම් දී තිබේ.

මෙවැනි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලැබේ නම්, ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ පොලිස් විශේෂ කාර්ය බළකායට වහාම දැනුම් දෙන ලෙසද පොලීසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම වංචාකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවත්, මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button