
2025 අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනයට කාරක සභා අනුමැතිය
2025 විසර්ජන පනතට අදාළ අත්තිකාරම් ගිණුම් සීමා කිහිපයක් සංශෝධනය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නොපැමිණීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
2025 වර්ෂයට අදාළව අත්තිකාරම් “බී” ගිණුම් 169ක් සහ ගබඩා, වෙළඳ හා විශේෂ අත්තිකාරම් ගිණුම් 11ක් සඳහා 2025 අංක 3 දරන විසර්ජන පනතේ තුන්වන උපලේඛනය යටතේ සීමාවන් නියම කර තිබූ අතර, වසර තුළ මතුවූ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒවා සංශෝධනය කිරීමට අංක 1 සිට 44 දක්වා නියෝග කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ සලකා බැලීමකින් අනතුරුව පහත අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදී ඇත.
-
රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුම් (නියෝග අංක 1 සිට 36 දක්වා)
-
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් මුද්‍රණය, ප්‍රචාරණය හා අලෙවිය අත්තිකාරම් ගිණුම (නියෝග අංක 37)
-
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගබඩා අත්තිකාරම් ගිණුම – පුපුරණ ද්‍රව්‍ය (නියෝග අංක 38)
-
ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට ගත් හා රාජසන්තක බඩු ද්‍රව්‍ය පිළිබඳ අත්තිකාරම් ගිණුම (නියෝග අංක 39)
-
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ වෙනත් ආණ්ඩු වෙනුවෙන් ගෙවීම් සඳහා වූ අත්තිකාරම් ගිණුම (නියෝග අංක 40)
-
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල නඩත්තුව හා බීජ අලෙවිය අත්තිකාරම් ගිණුම (නියෝග අංක 41)
-
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගබඩා අත්තිකාරම් ගිණුම (නියෝග අංක 42)
-
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ ගබඩා අත්තිකාරම් ගිණුම (නියෝග අංක 43)
-
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළ වැඩ අත්තිකාරම් ගිණුම (නියෝග අංක 44)
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අදාළව, 2023 වසර සඳහා ඇතැම් ශ්‍රේණිවල නව විෂය නිර්දේශ මොඩියුල සඳහා පෙළපොත් මුද්‍රණ ප්‍රමාද වීම සහ විවෘත තරඟකාරී ලංසු මගින් මුද්‍රණ වියදම් අඩුවීම හේතුවෙන් ගිණුම් සීමා සම්පූර්ණයෙන් භාවිත නොවූ බව නිලධාරීහු පෙන්වා දී ඇත.
එමෙන්ම මොඩියුල ස්ථීර කිරීම සහ පෙළපොත් මුද්‍රණය අතර වඩා හොඳ සැලසුම්කරණයක් සහ සම්බන්ධීකරණයක් අවශ්‍ය බව ද කාරක සභාව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්, අමතර කොටස් විශාල තොගයක් ලේඛනගත ක්‍රමයට අකාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම පිළිබඳ කාරක සභාව කණගාටුව පළ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, වඩා කුඩා තොගයක් පවත්වාගෙන යාම සහ කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.
මෙම රැස්වීමට අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.



