
විද්‍යා ඝාතන නඩුවේ මරණ දඬුවම් ලැබූ සැකකරුවෙක් ජීවිතක්ෂයට
යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (24) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2015 වසරේ මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉකුත් මැයි 6 වැනිදා එම මරණීය දණ්ඩනය යළිත් තහවුරු කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී තිබූ අතර, තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට පනවා තිබූ දඬුවම් ඉවත් කිරීමටද නියෝග කර තිබුණි.
එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණ දඬුවම නියම වී සිටි විත්තිකරුවන් තිදෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවද සඳහන්ය.



