
හෙට ජාතික විජයග්‍රාහී සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” හෙට (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.
රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර ඇති බවය.
මෙවර සැමරුම් උත්සවයේ විශේෂත්වයක් ලෙස, පළමු වරට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන්ටද සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි. කොහොන මහතා මේ බව සඳහන් කළේය.
“පසුගිය වසරවල වගේම මේ වසරෙත් මැයි 19 වෙනිදාට බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ සැමරුම් උත්සවය පැවැත්වෙනවා.. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්.. මෙවර පැවැත්වෙන්නේ 17වෙනි සැමරුම් උත්සවය. සුවිශේෂී වෙනස්කම් කීපයක් අපි සිදු කරලා තියෙනවා.. වෙනදට වැඩියෙන් රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා.. උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අපිත් එක්ක යුද්ධයේදී ත්‍රිවිධ හමුදාවට එක්වෙලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවෙච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගි කරවා ගැනීමට. 30ක විතර ප්‍රමාණයකට අපි ඇරයුම් කරලා තියෙනවා, ඔවුන්ගේ සහභාගිත්වය සනාථ කරලා තියෙනවා. ඒ අනුව සුවිශේෂී අවස්ථාවක් හැටියට අතිගරු ජනාධිපතිතුමන් එක්ක තමන්ගේ මියගිය ඥාතියා වෙනුවෙන් ජාතියේ ගෞරවයට එකතු වෙලා තමන්ගේ ගෞරවය පුද කිරීමේ අවස්ථාව අපි ඔවුන්ට ලබා දීලා තියෙනවා.”
උත්සවයට ත්‍රිවිධ හමුදා, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණවිරු දෙමව්පියන්, ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු 2,769 දෙනෙකු සහභාගී වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ ගෘෘප් කැප්ටන් එල්.එම්.සී.ඩී. නිශ්ශංක මහතා පැවසීය.
”මෙහිදී අපි සියලුම යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් සහ ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු එදා දවසේ සැමරුමට සහභාගි වෙනවා.. රණවිරු දෙමව්පියන් විදිහට මෙවර අපි 160දෙනෙකුට අවස්ථාව ලබා දීලා තියෙනවා ප්‍රධාන සැමරුම අවස්ථාවට සහභාගි වෙන්න. මේ ප්‍රෝග්‍රෑම් එක අපි හවස 6.45 විතර වෙද්දී නිමා කිරීමටත් බලාපොරොත්තු වෙනවා.”
මේ අතර, රණවිරු දිනය පිළිබඳව අද දෙරණ සමඟ අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේ, යුධ ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් බවය.
“වසර 30ක තිබ්බ ත්‍රස්තවාදී යුද්ධයක් ජයග්‍රහණය කරලා අද වෙනකොට වසර 17ක් සම්පූර්ණ වෙනවා. ඇත්තම කියනවා නම් අපි පරාජය කළේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය. තාමත් රටවල් 32ක් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක නිකන් ලබපු ජයග්‍රහණයක් නොවෙයි. අපේ රණවිරුවෝ 29,000ක් මැරුණා, ඒ වගේම 14,000ක් ආබාධිත වුණා. අනිත් අය සටන් කරලා ජීවිතය බේරුණත් ඒගොල්ලන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම රට වෙනුවෙන් කැප කළා. අන්න ඒ ජය තමයි අපි අද සමරන්නේ සහ සැමරිය යුත්තේ. ත්රස්තවාදයේ නායකයෝ මිනිස් පවුරක් වගේ තියන් හිටියා අහිංසක දෙමළ ජනතාව. ඒ අය යුද හමුදාවලට දුවගෙන යනකොට වෙඩි තියලා මැරුවා. එතකොට ඒ දෙමළ ජනතාව 2,95,000ක් බේරාගෙන තමයි අපේ රණවිරුවෝ මේ යුද්ධයේ ජයග්‍රහණය කළේ. ඒක ලෝකයේ විශාලතම ප්‍රාණ අපකරුවන් සංඛ්‍යාවක් මුදාගැනීම සම්බන්ධයෙන් ඒක ලෝක වාර්තාවක්. ඒ සම්පූර්ණයෙන්ම ගෞරවය අපේ හමුදාවට තියෙනවා. නමුත් ඒ රණවිරුවාට අද රණවිරුවා කියලා කියන්න දිව නැමෙන්නේ නැති නායකයෝ ඉන්න රටකයි අපි අද ඉන්නේ. නමුත් සාමය අගයන සමස්ත ශ්‍රී ලංකා වැසියන්ම අද රණවිරුවාට ගරු කරනවා. ඒක ඇත්ත වශයෙන්ම රණවිරුවන් හැටියට අපට විශාල සතුටක් සහ දිරිගැන්වීමක්.”



