ප්‍රධාන පුවත්

ජලාශ 21ක් වාන් දමයි – ජනතාවට අවවාද

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාර්තා වෙයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, අද (15) පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය නිරීක්ෂණය කළ බවයි.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශ, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොටේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදියාය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශද වාන් දමමින් පවතින බව සඳහන්ය.

එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.

රාජාංගන ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,600කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙන අතර, ලුණුගම්වෙහෙර ජලාශයේ දොරටු 6ක් අඟල් 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 1,740කට වැඩි ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරේ.

වෙහෙරගල ජලාශයෙන් තත්පරයට ඝන අඩි 700කට වැඩි ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත මුදාහැරෙන අතර, අලිකොටආර ජලාශයෙන් කිරිඳ ඔයට තත්පරයට ඝන අඩි 680කට අධික ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙමින් පවතී.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 5,480ක ජල ප්‍රමාණයක් මීඔයට මුදාහැරෙන අතර, ඉගිණිමිටිය ජලාශයෙන්ද තත්පරයට ඝන අඩි 6,000ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරුඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවල ජනතාව, ගංඟා හා ඔය ආශ්‍රිතව පදිංචි පිරිස් වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button