ප්‍රධාන පුවත්

කපිල චන්ද්‍රසේනගේ දුරකථනය විවෘත කිරීමට අධිකරණ අවසර

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්ශනවල නව ප්‍රගතිය සහ වැඩිදුර වාර්තා ඉදිරිපත් කළ බවයි. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද අධිකරණයට භාරදී තිබේ.

මරණකරුගේ සිරුරෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

එසේම, මරණකරුට අයත් ජංගම දුරකථනය විවෘත කිරීමේදී බාධාවක් මතුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහි මුරපද ආරක්ෂාව මුහුණු හඳුනාගැනීමේ ක්‍රමවේදයක් මත ක්‍රියාත්මක වන බැවින් දුරකථනය නිෂ්පාදනය කළ සමාගම හෝ අදාළ තාක්ෂණික ආයතනයක් වෙත යොමුකර විවෘත කිරීමට අවසර ඉල්ලා ඇත.

සිද්ධි ස්ථානයේ තිබී සොයාගත් ගෙල බැඳි පටිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට භාරදී ඇති අතර, එයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව පොලීසිය දන්වා තිබේ.

මහෙස්ත්‍රාත්වරයා විසින් සිද්ධි ස්ථානයේ තිබූ ඖෂධ සහ හඳුනා නොගත් බෙහෙත් වර්ග පිළිබඳවද විමසීමක් කර ඇති අතර, ඒවාද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කර ඇත.

අධිකරණය විසින් පොලීසිය කළ ඉල්ලීම්වලට අවසර ලබාදී ඇති අතර, වැඩිදුර සාක්ෂි සටහන් කිරීම ලබන 14 වනදා දක්වා කල් තබා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button