ප්‍රධාන පුවත්

අමෙරිකානු වෙළඳපොළට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයට කොල එළියක්

අමෙරිකා එක්සත් ජනපදය වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට පනවා තිබූ සීමාවන් ඉවත් කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහාද අමෙරිකානු අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන NOAA ආයතනය ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රමවේද සහ නියාමන පද්ධතිය ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කරමින් නිල දැනුම්දීමක් සිදුකර තිබේ.

2025 නොවැම්බර් මාසයේ අමෙරිකානු අධිකරණ තීන්දුවක් හේතුවෙන් මෙම අපනයන ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වුවද, ධීවර දෙපාර්තමේන්තුව සහ NARA ආයතනය ඉදිරිපත් කළ විද්‍යාත්මක දත්ත සැලකිල්ලට ගනිමින් NOAA සිය තීරණය යළි සමාලෝචනය කර ඇත.

මෙම අනුමැතියත් සමඟ ශ්‍රී ලංකාවට අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය “Comparability Finding” සහතිකය හිමිවන අතර, එය 2029 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය කිසිදු බාධාවකින් තොරව අමෙරිකානු වෙළඳපොළ වෙත සිදු කළ හැකි බව සඳහන්ය.

එමෙන්ම මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සාගර ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන පරිසර හිතකාමී ක්‍රමවේද ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන තිබීමද විශේෂත්වයකි.

මෙය මෙරට ධීවර කර්මාන්තයට නව ශක්තියක් ලබාදෙන අතර, ධීවර ප්‍රජාවගේ ආදායම් වැඩි කිරීමට සහ විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීමටද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button