
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවට රිමාන්ඩ්
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් මහතා, රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන එළඹෙන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරයක් ලබාදීමට අදාළව අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී බව සඳහන් වේ.
විමර්ශන අනුව, අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක එකවර ගෙවීමක් සමඟ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර, ඉන් මුල් ගෙවීම වූ ලක්ෂ 30 ලබාගැනීමට ගිය අවස්ථාවේ බත්තරමුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
කුරුණෑගල මහනගර සභාවේ බලය පිහිටුවීමේදී කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් හිමි නොවූ අතර, පසුව ජාතික ජන බලවේගය අනෙකුත් පාර්ශ්වයන්ගේ සහාය මත බලය තහවුරු කරගෙන තිබුණි.
එම අවස්ථාවේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොහොමඩ් මොයුනුදීන් මහතාද එම පාර්ශ්වයට සහාය පළ කර ඇති අතර, ඒ අනුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්කර තිබුණි.
මේ අතර, අල්ලස් චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.



