ප්‍රධාන පුවත්

ඒකලදී ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘතයි

ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පිහිටුවන ලද නව ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී ජනතා අයිතියට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීවය. ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 150ක් මේ වනවිටත් නිදහස් කර ඇත.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාරිසරික තිරසාරභාවය ශක්තිමත් කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 40ක් පමණ සහ කාබන් විමෝචනයෙන් සියයට 25ක් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ජනනය වන බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ පමණක් දිනකට ඉදිකිරීම් අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වන බවද වාර්තා වේ.

මෙතෙක් අවිධිමත් ලෙස බැහැර කරමින් පාංශු, ජල දූෂණය හා ගංවතුර අවදානම් ඇති කළ සුන්බුන්, නව තාක්ෂණය ඔස්සේ නැවත භාවිතයට ගත හැකි අමුද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ හරහා ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම මෙන්ම ඉදිකිරීම් පිරිවැය අවම කිරීමද අපේක්ෂා කෙරේ.

මෙම මධ්‍යස්ථානය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ. පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වන ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයට අමතරව නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක්ද ඉදිකර ඇත.

ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සමග එක්ව පර්යේෂණ කටයුතු පුළුල් කිරීමටද සැලසුම් කර ඇති අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සියලු කොන්ත්‍රාත්කරුවන් සහ අදාළ පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button