ප්‍රධාන පුවත්

රාජගිරියේ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 120ක් රිමාන්ඩ්

රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාසයක සිදු කළ වැටලීමකදී විදෙස් ජාතිකයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජගිරිය මැද වැලිකඩ පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුකරගෙන යන බවට ලද තොරතුරු මත පොලීසිය සිදුකළ මෙහෙයුමකදී විදෙස් ජාතිකයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළැඹෙන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කර්, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය ඇතුළු රටවල් කිහිපයක් නියෝජනය කරන පුද්ගලයින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මෙම පිරිස අදාළ මහල් නිවාසයේ මහල් කිහිපයක් කුලී පදනම මත ලබාගෙන එහි සිට මෙම ජාවාරම් කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබේ.

වැටලීම අතරතුර ඔවුන් භාවිත කළ බවට සැලකෙන පරිගණක, ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button