ප්‍රධාන පුවත්

අවුරුදු උත්සවයක ගැටුමක්: සහෝදරයා බේරාගන්න ගිය පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට

වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසන් වූ පසු ඇති වූ ගැටුමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ මාලිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, වයස අවුරුදු 46ක් වන තිදරු පියෙකු වන අතර, ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බක්මහ උළෙල පැවැති ස්ථානය පිරිසිදු කරමින් සිටි සිය සහෝදරයාට පිරිසක් විසින් පහර දෙන බවට ලද දැනුම්දීමක් අනුව, ඔහු සිය මෝටර් රථයෙන් එම ස්ථානය වෙත පැමිණ තිබේ.

එහිදී සිය සහෝදරයා බේරාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී, විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ ඔහුව මුලින් වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලටත්, අනතුරුව කරාපිටිය මහ රෝහල වෙතත් මාරු කර යවා තිබේ.

කරාපිටිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ඊයේ (24) දින ඔහු ජීවිතක්ෂයට පත්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, මියගිය පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු හෙට (26) පොලිස් ආචාර්ය ගෞරව මධ්‍යයේ සිදු කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button