
බැංකු ගිණුම් කොල්ලකන නව ඩිජිටල් වංචාවක් ගැන පොලිසියෙන් අවවාද – “ .apk” ගොනු හරහා
බැංකු ගිණුම්වල මුදල් කොල්ලකෑමට යොදාගන්නා නව ඩිජිටල් වංචා ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ.
මෙම වංචාවේදී නාඳුනන දුරකථන අංකයකින් හෝ මිතුරෙකුගේ නමින් පෙනීසිටින පණිවිඩ හරහා “.apk” ගොනුවක් ඔබ වෙත ලැබීම ප්‍රධාන උපක්‍රමය වේ. එම ගොනුව ඩවුන්ලෝඩ් කර විවෘත කළහොත්, ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ පාලනය හැකර්වරුන් අතට පත්විය හැකි බව පොලිසිය අනතුරු අඟවයි.
එවැනි අවස්ථාවකදී ඔබගේ SMS පණිවිඩ, OTP (එක් වරක් භාවිතා වන රහසිගත කේත) සහ අනෙකුත් සංවේදී තොරතුරු හැකර්වරුන්ට ලැබෙන අතර, එය බැංකු ගිණුම්වල මුදල් අහිමි වීමට හේතු විය හැක.
විශේෂයෙන්ම WhatsApp සහ Telegram වැනි සමාජ මාධ්‍ය යෙදවුම් හරහා “.apk” ගොනු ලැබෙන බවට පොලිසිය නිරීක්ෂණය කර තිබේ. මෙම ගොනු බොහෝ විට මංගල ආරාධනා, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් ලෙස පෙනෙන නාමයන් යටතේ යවනු ලබයි.
.apk (Android Package Kit) යනු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා යෙදුම් ස්ථාපනය කිරීමට භාවිතා කරන ගොනු වර්ගයක් වන අතර, එය රූපයක් හෝ PDF ගොනුවක් ලෙස පෙනීසිටියත්, එය විවෘත කළහොත් යෙදුමක් ලෙස ස්ථාපනය විය හැක.
එවැනි යෙදුමක් ස්ථාපනය වූ පසු, හැකර්වරුන්ට ඔබගේ දුරකථනයේ තොරතුරු වෙත ප්‍රවේශය ලබාගැනීමට සහ SMS පණිවිඩ කියවීමට හැකි වන අතර, OTP කේත පවා ඔබ නොදැනුවත්ව ඔවුන් වෙත ලැබේ.
මේ හේතුවෙන් නාඳුනන හෝ සැකකටයුතු මූලාශ්‍රවලින් ලැබෙන “.apk” ගොනු කිසිවිටෙකත් ඩවුන්ලෝඩ් කිරීම හෝ විවෘත කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවට උපදෙස් දෙයි.
ඔබගේ ජංගම දුරකථනයට යෙදුම් ස්ථාපනය කිරීමේදී, Google Play Store හෝ Apple App Store වැනි නිල වෙළඳසැල් පමණක් භාවිතා කිරීම වැදගත් වේ. එමෙන්ම, දුරකථනයේ Settings තුළ “Install Unknown Apps” විකල්පය අක්‍රිය කර තැබීමද ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය කරුණකි.
යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට ලක්වුවහොත්, වහාම ඔබගේ බැංකු ගිණුම් ආරක්ෂා කර, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දී ඇත.



