ප්‍රධාන පුවත්

හැකර් ප්‍රහාරයෙන් අහිමි වූ ඩොලර් මිලියන 2.5 ගැන රජයෙන් නිල ප්‍රකාශයක් නැහැ – සජිත් ප්‍රේමදාස

හැකර් ප්‍රහාරයක් හේතුවෙන් අහිමි වී ඇති බවට කියන ඩොලර් මිලියන 2.5 (ඩොලර් ලක්ෂ 25) සම්බන්ධයෙන් රජය තවමත් නිල සහ පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය තුළ සිටින විවිධ පාර්ශ්ව විසින් වෙන වෙනම පැහැදිලි කිරීම් ඉදිරිපත් කරමින් පවතින බවද විපක්ෂනායකවරයා චෝදනා කරයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් එක් ආකාරයකින් අදහස් දක්වන අතර, නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා වෙනත් ආකාරයකින් විග්‍රහ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එම හේතුවෙන්, සිද්ධිය පිළිබඳව නිවැරදි සහ සත්‍ය තොරතුරු ජනතාවට ලැබීම සීමා වී ඇති බවද ඔහු සඳහන් කළේය. ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියක් ඇති බවද විපක්ෂනායකවරයා අවධාරණය කළේය.

තවද, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසන පරිදි මෙම ගැටලුව ජනවාරි මාසයේ හඳුනාගෙන තිබුණද, ඒ සඳහා විධිමත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීම සඳහා මාර්තු මාසය දක්වා ප්‍රමාද වූයේ මන්ද යන්නත් ගැටලු සහගත බව ඔහු කියා සිටියේය.

එසේම, මෙවැනි ගැටලුවක් පිළිබඳව මුදල් කළමනාකරණයේ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට දැනුම් නොදීමත් බරපතළ කරුණක් බවද ඔහු අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් මෙම සිද්ධිය ඉන්දියාව සමග සිදුවූ ගනුදෙනුවක් සමඟ සම්බන්ධ බවට පවසා ඇති බවත්, එම ප්‍රකාශයේ සත්‍යතාව රජය විසින් වහාම පැහැදිළි කළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ඒ සමඟම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමඟ සිදුවූ ගනුදෙනු වලදීද මුදල් අහිමිවී ඇත්නම්, එම සත්‍යය රටට හෙළි කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම කරුණ මාස ගණනාවක් රහසිගතව තබාගෙන සිටීම ගැටලු සහගත බවත්, එය බරපතළ තත්ත්වයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button