
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ 3වන අදියර අවසන් – වතුකරයට නිවාස 60000ක්
මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශ ඉලක්ක කරගෙන ඉන්දීය රජය ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අද (19) නිල වශයෙන් අවසන් වී තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වතුකර ප්‍රදේශවල සමස්තයෙන් නිවාස 60,000ක් ඉදිකිරීමට ඉන්දීය රජය ආධාර ලබා දීමට නියමිත අතර, එහි මුල් අදියර දෙක යටතේ නිවාස 46,000ක් දැනටමත් නිම කර තිබේ.
තෙවන අදියර යටතේ ඉදිකිරීම් කටයුතු ඌව, මධ්‍යම සහ දකුණු පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ අතර, නිවාස 4,000ක් ඉදිකරමින් පවුල් 3,855කට වාසය සඳහා පහසුකම් සලසා දීමට හැකි වී ඇත.
කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියට බලපා තිබුණද, එක් නිවසකට ලබා දෙන මුදල රුපියල් මිලියන 2.8 දක්වා ඉහළ නැංවීමෙන් ඉන්දීය රජය විසින් එය සාර්ථකව නිම කිරීමට දායක වී ඇත.
තෙවන අදියරට අයත් මාතලේ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඉතිරිව තිබූ නිවාස 145ක්, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කෙරිණි.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් දුන් පොරොන්දුවකට අනුව, නිවාස 10,000ක් ඉදිකිරීමට නියමිත සිව්වන අදියරේ වැඩ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇත.



