
ගල්අඟුරු වංචා විගණන වාර්තාව නීතිපතිට වහා ඉදිරිපත් කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල
ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කර ඇති විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින් නීතිපතිවරයාට වහාම භාරදිය යුතු බව සමගි ජන බලවේගය (සජබ) අවධාරණය කරයි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වන හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසේ අද (19) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ආණ්ඩුව එම වාර්තාව සෘජුව නීතිපතිවරයාට යොමු නොකර විවිධ කොමිෂන් සභා පත්කිරීම මඟින් සැබෑ ප්‍රශ්නයෙන් ඉවත්වීමට උත්සාහ කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
“ආණ්ඩුව පිළිඅරන් තියනවා බාල ගල්අඟුරු ගෙනාවා කියලා. මෙය සනාත කරමින් විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරාම මේ වාර්තාව මුලින්ම ඉදිරිපත් වෙන්නේ කෝප් සභාවට. ඉතිං දැන් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයාට යොමු කරන්න. ඒත් ආණ්ඩුව මොකද කළේ කල් මරන්න කොමිෂන් සභා පත්කළා.”
“බාල ගල්අඟුරු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කළා. කිසිම මතභේදයක් තිබුණේ නැහැ. ඡන්දයක් ආවොත් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගෙනවා. ඒ සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවේවි. මේ ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු රාශියක් ලබාදීලා. ඒ පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ.”



