
ඩීසල් මිල $303 දක්වා ඉහළයි: බොරතෙල් $286ට මිලදී ගත් බව ප්‍රතික්ෂේප කරයි
මෙරටට බොරතෙල් ආනයනය කිරීමේදී බැරලයක් ඇමරිකානු ඩොලර් 286කට මිලදී ගත් බවට පළවන වාර්තා අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
අද (17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, කිසිදු අවස්ථාවක එවැනි ඉහළ මිලකට බොරතෙල් මිලදී ගෙන නොමැති බවයි.
ඔහු අනාවරණය කළේ මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වීමෙන් පසු මාර්තු 11 දින මෙරටට පැමිණි බොරතෙල් නෞකාවේ බැරලයක මිල ඩොලර් 66.99ක් වූ බවයි. එසේම අද (17) දිනයේ දිවයිනට ළඟාවීමට නියමිත නව බොරතෙල් නෞකාවේ බැරලයක මිල ඩොලර් 71.99ක් ලෙස සටහන් වන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඩීසල් මිල සම්බන්ධයෙන් වෙනස් තත්ත්වයක් පවතින බවද සභාපතිවරයා පැහැදිලි කළේය. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඩීසල් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ආනයනය කිරීමේදී බැරලයක් ඩොලර් 288 සිට ඩොලර් 303 අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, බොරතෙල් මිල සහ ඩීසල් මිල අතර සැලකිය යුතු වෙනසක් පවතින බවත්, ඉන්ධන වෙළඳපොළේ ගෝලීය තත්ත්වය ඒ සඳහා බලපා ඇති බවත් අවධාරණය කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා,
“අපි බොරතෙල් බැරල් එකක් කිසිම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි. එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිලදී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතුවෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා. අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇතිවෙනවා…
ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අපි ඒ ගත් ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩිම ගාන 242කට ගිහිල්ලා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා ඒකත් එක්ක මිල වැඩිවෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා.
ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක් ඒ ඇවිල්ලා තුන්වැනි මාසේ 31 ආපු නැව. ඊට පස්සේ ආපහු 4 වැනි මාසේ 7 වැනිදා ආපු නැවක් තියෙනවා ඒකට වෙලා තියෙනවා 288. 06ක් සුපර් ඩීසල්වලට 303.77ක්”



