අධ්‍යාපන

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රමිතිය ඉහළ නැංවීමට විද්වත් කමිටුවක් පත් කෙරේ

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සහ ඒවා ප්‍රතිසංවිධානය කිරීම අරමුණු කරගනිමින් විද්වත් කමිටුවක් පත් කර ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා කටයුතු කරන අතර, අනෙකුත් සාමාජිකයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම් මහත්මිය, යාපනය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන් මහතා සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් මහතා ඇතුළත් වේ.

රජයේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සමස්ත ආයතනික ව්‍යුහය ආවරණය වන පරිදි යටිතල පහසුකම්, සිසු සුබසාධනය, පාලන ක්‍රම, තිරසාරභාවය, ඉගෙනුම් පරිසරය සහ ඇගයීම් ක්‍රමවේදයන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වේ. එමෙන්ම ආචාර්යවරුන් සහ සිසුන් අතර අන්තර් සම්බන්ධතාවයද ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කරනු ඇත.

කමිටු සාමාජිකයන් ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ සාකච්ඡාවකට ද එක්විය.

එහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, රටේ අධ්‍යාපන පරිවර්තන ඉලක්ක සාර්ථක කරගැනීම සඳහා නායකත්ව ගුණාංග සහ හැකියාවන්ගෙන් සමන්විත ගුරුවරුන් බිහි කිරීමට සුදුසු පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බවයි.

තවද, පාසල් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සඳහා මෙම විද්‍යාපීඨ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බවත්, එබැවින් ඉහළ මට්ටමේ ගුරුවරුන් බිහි කරන ප්‍රමුඛ ආයතන ලෙස ඒවා වර්ධනය කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

මේ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නිරීක්ෂණය කිරීමට කමිටුවට උපදෙස් ලබා දී ඇති අතර, එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ද ලබා දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button