
අප්‍රේල් 1 සිට අවුරුදු සමයට විශේෂ ආරක්ෂක හා රථ වාහන පාලන වැඩපිළිවෙළක්
මෙවර අවුරුදු උත්සව සමය සැලකිල්ලට ගනිමින් විශේෂ ආරක්ෂක හා රථ වාහන පාලන වැඩපිළිවෙළක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දුන්නේ, උත්සව සමයේ ජනතාවගේ ගමනාගමනය සැලකිය යුතු ලෙස ඉහළ යන බැවින්, රථ වාහන සහ ආරක්ෂක කටයුතු සඳහා වැඩි සංඛ්‍යාවක් වූ නිලධාරීන් යොදවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලනය සහ ආරක්ෂක වැඩපිළිවෙළ දැඩි කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
මෙම වැඩපිළිවෙළ අප්‍රේල් 1 සිට ආරම්භ වී, අවුරුදු උත්සව සමය අවසන් වී ජනතාව නැවත නගර වෙත පැමිණෙන කාලය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් දැනුම්වත් කරලා අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සැලැස්මක් යටතේ මහජනතාවට ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් 01 වෙනිදායින් පස්සේ ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් පළමු වෙනදා ඉදන් අවුරුදු අවසන් වෙලා ජනතාව ගම්බිම් බලා ගිහින් එනතුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.”



