
රස කැවිලි නිෂ්පාදකයන්ගේ මිල මැයි දක්වා ස්ථාවරයි
බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදනවල මිල එළැඹෙන මැයි මාසය දක්වා ඉහළ නැංවීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඊයේ (26) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම් දී තිබේ. මැදපෙරදිග කලාපයේ යුධ තත්ත්වය සහ එයින් ඇති වූ ආර්ථික බලපෑම් හේතුවෙන් රස කැවිලි කර්මාන්තයට ඇතිවී ඇති අභියෝග සහ ඒවා පාරිභෝගිකයාට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර ඇත.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ වර්තමානයේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට දැරිය නොහැකි තත්ත්වයක පවතින බවයි. එමෙන්ම, කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් දෙපාර්ශවයම ආරක්ෂා වන ආකාරයෙන් තත්ත්වය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු අවධාරණය කළේය.
රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී සූරියප්පෙරුම මහතා පෙන්වා දුන්නේ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියද කොවිඩ් සමයෙන් පසුව රස කැවිලි නිෂ්පාදනවල මිල වැඩි කිරීමක් සිදු නොකළ බවයි. කෙසේ වෙතත් සීමිත ලාභයක් යටතේ කර්මාන්තය පවත්වාගෙන යන බවද ඔහු සඳහන් කළේය.
අලුත් අවුරුදු සමය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් රස කැවිලි නිෂ්පාදන වෙළෙඳපොළට බෙදාහැරමින් පවතින අතර, එම කාලය අවසන් වන තෙක් කිසිදු මිල වැඩි කිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවද සංගමය පවසයි.
එහෙත් මැයි මාසයෙන් පසු ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යන්නේ නම්, මිල සංශෝධනයක් සලකා බැලීමට සිදුවිය හැකි බවද ඔවුන් සඳහන් කරයි.
ඊට අමතරව, අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කර ගැනීමේදී ඇති ප්‍රමාදයන් සහ නැව්ගත කිරීමේ අතිරේක ගාස්තු පිළිබඳවද සංගමය අවධානය යොමු කර ඇති අතර, නිෂ්පාදන බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමේ සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙසද අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.



