ප්‍රධාන පුවත්

රුසියාවෙන් ඉන්ධන ආනයනයට සාකච්ඡා ආරම්භයි – අමාත්‍ය නලින්ද ජයතිස්ස

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, රටවල් අතර සෘජු ගිවිසුම් මගින් ඉන්ධන සැපයුම ලබා ගැනීමේ හැකියාවන් පිළිබඳව රජය දැඩි අවධානය යොමු කර ඇති බවයි. එම ක්‍රියාවලියට අදාළව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එම සංචාරයේදී ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම, ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට සූදානම් බවට ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳවද අදහස් දක්වමින්, එය සතුටුදායක කරුණක් වුවද එවැනි අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට නාවික හැකියාවන් තිබීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය. එවැනි පහසුකම් නොමැතිවීම මෙරටට සීමාවක් වී ඇති බවද සඳහන් කළේය.

කෙසේවෙතත්, ඉන්ධන සැපයුම තහවුරු කිරීම සඳහා රජය විසින් දැනටමත් ඇනවුම් කිහිපයක් ලබාදී ඇති අතර, ඒ අනුව ඉන්ධන රැගෙන එන නෞකා කිහිපයක් එළැඹෙන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“රුසියාවත් එක්ක සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පවතිනවා නමුත් පසුගිය කාලයේ අපිට රුසියාවත් එක්ක තෙල් ගැනීමේ හැකියාවක් ලැබුණේ නෑ. නමුත් අපි උත්සාහ කරමින් ඉන්නවා රාජ්‍යයන් සහ රාජ්‍යන් අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් මේක කරගන්න පුළුවන්ද කියලා. රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ලංකාවට පැමිණිමට නියමිතයි. එතකොට මේ සාකච්ඡා තවත් විදිමත් කරන්න පුළුවන්කමක් තිබෙනවා.

ඉරානයෙන් තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නයේදී දැන් තිබෙන්නේ නැව් අයිති රටවලට ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නෑ. අපි ස්තූතිවන්ත වෙනවා ඒ ප්‍රකාශයට නමුත් අපි දැන් බොරතෙල් සහ පිරිපහදු තෙල්වලට ඇනවුම් කීපයක් දීලා තිබෙන්නේ. ටෙන්ඩර් ඕපන් වෙලා තිබෙනවා ඒ තෙල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අදත් එක ටෙන්ඩරයක් ඕපන් වීමට නියමිතයි. දැනට ඕපන් වෙලා තිබෙන ටෙන්ඩර් අනුව අප්‍රේල් මාසයේදී තෙල් නැව් කිහිපයක් ලැබෙනවා. මේවාත් එක්ක තමයි තෙල් ප්‍රමාණය කළමනාකරණය කරගන්න වෙන්නේ.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button