
ඉන්ධන මිල ඉහළ යාමෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු 20%කින් වැඩිවේ
ඉන්ධන මිල ගණන් ඉහළ යාමට අනුව, බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (22) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20කින් ඉහළ නැංවීමට බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ, පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආනයන හා අපනයන කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණින් මෙම පියවර ගත් බවයි.
කොළඹ වරාය සම්බන්ධ සියලු සංගම් එක්ව ඒකාබද්ධ විධායක කමිටුවක් මගින් මෙම තීරණය ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, ගාස්තු සංශෝධනය පිළිබඳව සියලු සම්බන්ධිත පාර්ශ්ව දැනුවත් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බවද වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා,
“මේ මිල වැඩි කිරීම නොකර ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන සේවාව කරගෙන යාමේ හැකියාවක් නැහැ මොකද මේ වෙනකොටත් දැඩි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාදයත් එක්ක. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ආනයනික භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදය ඉතා ඉක්මනින් කඩිනමින් විසඳීමට කටයුතු කරන්න. මොකද මෙහි වැඩිපුර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවීමත් සහ ඉන්ධන අපතේ යාමත් සිදුවෙනවා දිගු පෝලිම්වල රැඳී සිටීමත් නිසා”
මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.
ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් දින 4ත් 5ත් අතර කාලයක් ගත වන බවත්, එම කාලය තුළ දිනකට රුපියල් 15,000ක් බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවත්ය. ඉන්ධන මිල වැඩිවීමත් සමඟ මෙම පිරිවැය තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු අවධාරණය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බහාලුම් ප්‍රමාද ගාස්තුද ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා,
“අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ”



