ප්‍රධාන පුවත්

ඩීසල් 18,MT සහ පෙට්‍රල් 17,MT රැගත් ඉන්ධන නෞකාවක් අද දිවයිනට-මයුර නෙත්තිකුමාරගේ

අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කරයි.

ඔහු පැවසුවේ එම නෞකාවේ අඩංගු ඉන්ධන අද දිනයේම ගොඩබෑමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. එම නෞකාව තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

තවද මේ වන විට ඇනවුම් කර ඇති අනෙකුත් ඉන්ධන නෞකාද දිවයිනට පැමිණෙමින් පවතින බවත්, පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඉන්ධන ඇනවුම් බෙදාහැරීමටද මේ වන විට පියවර ගෙන ඇති බවත් කළමනාකරණ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එමෙන්ම QR ක්‍රමවේදය මගින් ඉන්ධන බෙදාහැරීම සඳහා ගත් පියවරයන්ට අදාළව ඇතැම් පාර්ශ්වයන් ව්‍යාජ ගිණුම් භාවිත කරමින් ජනතාවගේ තොරතුරු රැස් කිරීමට උත්සාහ දරන බවට වාර්තා වී ඇති බවද ඔහු අනතුරු ඇඟවීය.

ඒ අනුව රජය විසින් හඳුන්වා දී ඇති නිල වෙබ් අඩවිය හැර වෙනත් කිසිදු වෙබ් අඩවියකට හෝ පාර්ශ්වයකට පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

වංචනික පුද්ගලයින් විසින් එවැනි තොරතුරු භාවිත කරමින් ව්‍යාජ QR කේත සකස් කිරීමේ සිද්ධීන් ද මේ වන විට වාර්තා වී ඇති බවද මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය. එවැනි ව්‍යාජ තොරතුරු ලබා දීම හේතුවෙන් නිසි පුද්ගලයින්ට නැවත QR කේත සකස් කර ගැනීමේ අවස්ථාවද අහිමි විය හැකි බවටද ඔහු අවධාරණය කළේය,

“අද උදෑසන 10.00 වෙනකොට තව එක නෞකාවක් කොළඹ වරායට සේන්දු වුණා. මේ වෙද්දි අපේ නිලධාරීන් නැවට ගොඩවෙලා සාම්පල පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවෙන් පස්සේ අද දිනයේම ගොඩබාන්න පටන් ගන්නවා. එහි අපිට ලැබෙනවා  ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ පෙට්‍රල් 17,000ක් සහ සුපරි ඩීසල් 3000ක්. ඒ වගේම අපි ඇනවුම් කළ නෞකාවන් සුපුරුදු පරිදි සේන්දු වීමට තිබෙනවා කොළඹ වරයට. 

ඊට අමතරව අද දිනය වෙනකොට CPC එකට ඇනවුම් 616ක් LIOC එකට ඇනවුම් 204ක් සහ සිනොපැක් එකට 247, ආර්.එම් පාර්ක් එකට 248ක් වශයෙන් ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සියලුම ස්ථානවලට ඇනවුම් බෙදා හැරීම සිදුකළා. ඒ වගේම ඊයේ දිනයේ පැවැති සාකච්ඡා අනුව මගි බස් රථ සඳහා ඩිපෝවලින් තෙල් දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව උදේ පාන්දරම ඩිපෝ සඳහා තෙල් බවුසර් පිටත් කර හැරියා. 

ඒ වගේම මේ වෙද්දි අපි ක්‍රියා කරමින් ඉන්නවා වාහන සහ මොබයිල් නම්බර්ස් මාරු කරලා රෙජිස්ටර් වෙන්න බැරිවුණ අයගේ ප්‍රශ්න විසඳන්න. නමුත් ඒ අතර කියන්න ඕනේ මේ වෙද්දි අපිට දැකගන්න හම්බුණා ව්‍යාජ එකවුන්ට් හදලා තියනවා ඛනිජ තෙල් සංස්ථාව නමින් ඒ එකවුන්ට්වලින් උත්සාහ ගන්නවා නොයෙකුත් දත්ත රැස් කරන්න.

සමහරු සියලු තොරතුරු ගන්නවා අරන් අනුන්ගේ නම්වලට QR කෝඩ් හදාගන්න උත්සාහ ගන්නවා. ඒක නිසා fuelpass.gov.lk කියන වෙබ් අඩවියට හැර වෙනත් කිසිම වෙබ් සයිට් එකක් අපි පබ්ලිශ් කරලා නෑ. ඒ කිසිම එකකට දත්ත ලබා දෙන්න එපා. එහෙම කරලා ඒ අය වෙනම පාස් එකක් හදාගන්නවා. එතකොට ඔබට පාස් එකක් හදා ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button