ප්‍රධාන පුවත්

මහවෙන් වංචනික ජපාන රැකියා ආයතනයක් වටලයි – මුදල් ගැරූ වංචාව හෙළිවේ

කුරුණෑගල මහව ප්‍රදේශයේ ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පෙනී සිටිමින් ජපානයේ ඉදිකිරීම්, හෝටල් හා රියදුරු රැකියා ලබාදෙන බවට පවසා මුදල් ලබාගත් වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වැටලා තිබේ.

 

ජපානයේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 750,000ක මුදලක් ලබාගෙන රැකියාව ලබා නොදුන් බවට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත. උපායදූත ක්‍රියාමාර්ග යටතේ සිදුකළ සොයාබැලීම්වලදී, ජපන් භාෂා පුහුණුව මුවාවෙන් අදාළ ආයතනය ක්‍රියාත්මක වූ අතර, සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා ව්‍යාජ විශ්වවිද්‍යාල සහතික හා සේවා සහතික සකස් කිරීමද සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

 

ඒ අනුව කුරුණෑගල මහව, දළදාගම හන්දියේ පිහිටි ස්ථානය වටලා එය පවත්වාගෙන ගිය අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථානය පරීක්ෂා කිරීමේදී ජපානයේ රැකියා ගිවිසුම්, මුදල් කුවිතාන්සි, ප්‍රචාරක පත්‍රිකා, ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණකයක් සොයාගෙන තිබේ.

 

ලැප්ටොප් පරිගණකය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල සහ ඉදිකිරීම් ආයතන නාම භාවිත කරමින් සකස් කළ ව්‍යාජ සහතික ආකෘති රැසක්ද හමු වී ඇතැයි වාර්තා වේ.

 

සැකකාර යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන තිබෙන අතර, දැඩි ඇප කොන්දේසි යටතේ නිදහස් කර විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

 

මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් විසින් සිදුකර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button