
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – රියාද් වෙතින් සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය තුළ සිදුවෙමින් පවතින වෙනස්කම් සැලකිල්ලට ගනිමින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – රියාද් දැනුම් දී ඇත.
හදිසි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසයි. තවද සෞදි අරාබිය රාජධානියේ අධිකාරීන් විසින් නිකුත් කරන උපදෙස් අනුගමනය කිරීමත්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය – ජෙඩා විසින් දෙනු ලබන මාර්ගෝපදේශ පිළිපැදීමත් අත්‍යවශ්‍ය බවයි.
අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින තානාපති කාර්යාලය, ආරක්ෂක උපදෙස් නිකුත් කර ඇති ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන්ද වැළකී සිටින ලෙස උපදෙස් ලබා දී තිබේ. එසේම, සියලු ගමන් ලේඛන හා හඳුනාගැනීමේ ලේඛන පහසුවෙන් ලබාගත හැකි අයුරින් සුරක්ෂිතව තබාගැනීම වැදගත් බවද සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකතන අංක හඳුන්වා දී ඇති අතර +966 54 947 7567 සහ +966 56 982 2700 යන අංක හරහා සෘජුව සම්බන්ධ විය හැකිය. WhatsApp හෝ IMO පණිවුඩ සඳහා +966 56 975 3380 යන අංකය භාවිත කරන ලෙස ද ඉල්ලා ඇත.
අමතර තොරතුරු සඳහා slemb.riyadh@mfa.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කළ හැකි බව තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.



