උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීම ආරම්භයි

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී ඇති සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය පිළිබඳ දීර්ඝ විමර්ශනයක් අවශ්‍ය බැවින් සම්පූර්ණ තොරතුරු කඩිනමින් අනාවරණය කළ නොහැකි බවය.

අත්අඩංගුවට ගැනීමේ හේතුව පැහැදිලි නොකර තිබීම හේතුවෙන් පොලීසියට එරෙහිව ප්‍රචාරයක් පැවැත්වෙන බවට මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අත්අඩංගුවට නොගත් තත්ත්වයක් තුළද පොලීසියට චෝදනා එල්ල විය හැකිව තිබූ බවයි. පොලීසියේ කාර්යය නීතිමය වශයෙන් නිසි පරිදි සිදුකර ඇති බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ඉදිරියේදී සිදුකරන ප්‍රශ්න කිරීම් මඟින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වනු ඇති බවද සජීව මැදවත්ත මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු දින තුනක් (පැය 72ක්) රඳවා ගැනීමේ නීතිමය හැකියාව පවතින බවයි. ඉන් අනතුරුව ලැබෙන සාක්ෂි අනුව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමටද නීතිමය ප්‍රතිපාදන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කළ යුතු කරුණු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button