
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් වරායට– ගෘහස්ත සිලින්ඩර 300,000ක් වෙළඳපොළට
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින කොළඹ වරායට ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කරයි. එම තොගය මගින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද සමාගම පැවසීය.
ඊට අමතරව, ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් තවත් නෞකා දෙකක් මෙම මස 24 සහ 28 දිනවල දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟය පවතින බවට තොරතුරු වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම ලිට්‍රෝ ගෑස් ලංකා සහ ලාෆ්ස් ගෑස් සන්නාමවල ගෑස් හිඟයක් ඇතිව තිබූ අතර, ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයින් දිගු පෝලිම්වල රැඳී සිටින අවස්ථාද දැකගත හැකි විය.
පවතින තත්ත්වය පිළිබඳව සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර, පෙබරවාරි අවසන් වීමට පෙර ගෑස් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.
එමෙන්ම, මාර්තු 12 වැනිදා සිට ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
ඒ අතර, වෙළෙඳුන් පවසන්නේ ගෑස් නෞකා පැමිණෙන නිශ්චිත දින පිළිබඳව තමන් වෙත මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.



