ප්‍රධාන පුවත්

අත්අඩංගුවේ සිටි කතක් පලායාමේ සිද්ධියකට : සැරයන්වරු දෙදෙනා සහ කොස්තාපල්වරිය වැඩ තහනමට

රැඳවුම් නියෝග මත ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කට සම්බන්ධ කාන්තාවක් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියක වැඩ තහනමට ලක්කර තිබේ.

පොලිස් මුලස්ථානය නිවේදනය කළේ, රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස සේවය කළ සැරයන්වරයා, උපසේවක ලෙස රාජකාරී කළ තවත් සැරයන්වරයා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි කොස්තාපල්වරිය මෙලෙස වැඩ තහනමට ලක් කළ බවයි.

මෙම මත්ද්‍රව්‍ය සැකකාරිය පසුගියදා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයක කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. රත්මලාන මැලිබන් හන්දිය – අත්තිඩිය ප්‍රධාන මාර්ගයේදී ඇය අත්අඩංගුවට ගත් අතර, එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 36,650ක් සන්තකයේ තිබූ බව වාර්තා වේ.

අදාළ සැකකාරිය ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පසුගිය 16 වැනිදා ශාරීරික අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක සමග වැසිකිලියකට ගොස් තිබේ. එම අවස්ථාවේදී ඇය අත්අඩංගුවෙන් මිදී, මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියක නැග පලා ගොස් ඇත.

කෙසේ වෙතත්, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කර පැය 8ක් ඇතුළත එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේදී පලාගිය සැකකාරිය යළි අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button