
උණුසුම් පුවත්
ලිට්රෝ ගෑස් හිඟයක් නැහැ – ගෑස් නැව් 3ක් මේ මාසය තුළ
අනාගතයේදී ගෑස් හිඟයක් ඇති නොවන බව Litro Gas Lanka Ltd අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය කලබලයක් හෝ අධික මිලදී ගැනීම් සිදු නොකරන ලෙසයි.
වෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සඳහා ඇති වූ අනපේක්ෂිත ඉල්ලුම් වැඩිවීමක් හේතුවෙන් සැපයුමට තාවකාලික බාධාවක් ඇති වූ බවද සමාගම සඳහන් කරයි. එහෙත්, සැපයුම ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
පෙබරවාරි 17 සහ 18 දිනවලදී ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති අතර, අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් සිලින්ඩර 351,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, අවශ්‍ය තොග ප්‍රමාණවත් ලෙස ඇණවුම් කර ඇති අතර සැපයුම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මේ මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් 3ක් මෙරටට පැමිණීමට නියමිත බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



