
අරගලය හා විදේශ මුදල් ප්‍රවාහ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි-නාමල් රාජපක්ෂ
අරගලය සම්බන්ධයෙන් සහ එම ක්‍රියාමාර්ග සඳහා විදේශ රටවලින් මුදල් ලැබී තිබේද යන්න පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ, අරගලය ක්‍රියාත්මක වූ කාලය තුළ විදේශ ආධාර හෝ මූල්‍ය සහයෝගීතාව ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් පාර්ශ්විකව නොව, නිසි නීතිමය පදනමක් යටතේ සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බවයි.
එමඟින් සත්‍ය තොරතුරු ජනතාවට හෙළිදරව් කිරීමත්, අනාගතයේ මෙවැනි සිදුවීම් පිළිබඳ පැහැදිලිභාවයක් ඇති කිරීමත් සදහා ජනාධිපති කොමිසමක් පත් කිරීම සුදුසු බවද ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ,
“අරගලය මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා. තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා.” යනුවෙනි.



