
අද ප්‍රදේශ කිහිපයකට තද වැසි – මි.මී. 75 දක්වා වර්ෂාපතනයක් අපේක්ෂිතයි
අද (14) දිනයේ මධ්‍යම සහ ඌව පළාත්වලට අමතරව අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් ඌව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ලැබිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම උතුරු සහ උතුරු මැද පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් වාර කිහිපයකින් වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අතිරේකව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව අනාවරණය වේ.
තවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇති බව සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබා දී ඇත.



