
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කළ සැකකාරියගෙ තොරතුරු මත අයිස්, ගිනි අවියක් සහ භාන්ඩ රැසක් සොයාගනී
රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරනු ලැබූ සැකකාරියකගෙන් අනාවරණය වූ තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය, ගිනි අවියක් සහ ව්‍යාජ වාහන අංක තහඩු ඇතුළු දේපොළ රැසක් සොයා ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්ව තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකර ඇත.
එහිදී අනාවරණය වූ තොරතුරු අනුව, ඊයේ (11) සවස ගල්කිස්ස පොලිස් වසමේ පිරිවෙන පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කර තිබේ.
එම පරීක්ෂාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 260ක්, රුපියල් ලක්ෂ 8ක මුදලක්, ගිනි අවියක් සහ ජීව පතොරමක් පොලිස් භාරයට ගෙන ඇත.
තවද, යතුරුපැදි සඳහා භාවිත කරන ඉදිරිපස හා පිටුපස ව්‍යාජ අංක තහඩු 08ක්, ත්‍රිරෝද රථ සඳහා ව්‍යාජ අංක තහඩු 04ක් සහ මෝටර් රථ සඳහා ව්‍යාජ අංක තහඩු 18ක්ද සොයාගෙන තිබේ.
ඊට අමතරව, ඉලෙක්ට්‍රොනික තරාදියක්, රන් මාල 02ක්, රන් වළල්ලක් සහ රන් මුදුවක් ඇතුළු දේපොළ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම දේපොළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් සැකකාරියට ලැබී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.



