සෞඛ්‍යය

GMOA චෝදනා: වෛද්‍ය ස්ථානමාරු ප්‍රමාදයෙන් රෝහල් පද්ධතිය අර්බුදයක

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, වෛද්‍යවරුන් 23,000කට අධික පිරිසක් නියෝජනය කරන තම සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව බවට අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශ්ව කිහිපයක් විසින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

මේ වන විට වෛද්‍යවරුන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් නියමිත නව සේවා ස්ථානවලට වාර්තා කිරීමට නොහැකිව, වසර ගණනාවක් තවමත් පෙර ස්ථානවලම සේවය කරමින් සිටින බවද එම සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවද එහි සඳහන් වේ.

ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ පසුබිමක, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මැදිහත්වීමට තම සංගමය එකඟ වූ බවද GMOA පවසයි.

කෙසේ වෙතත්, 8,000කට ආසන්න ස්ථානමාරු ප්‍රමාණයෙන් ලිඛිත ස්ථානමාරු ලිපි ලබාදී ඇත්තේ සම්පූර්ණ සංඛ්‍යාවේ 6%කට ආසන්න සුළු ප්‍රමාණයකට පමණක් බවත්, එයින් සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ 3%කට ආසන්න වෛද්‍යවරුන් පිරිසකට පමණක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රමාදය හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් අපහසුතාවයට පත්ව ඇති අතර, ස්ථානමාරු ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීමෙන් ඇතැම් රෝහල්වල සෞඛ්‍ය සේවා සැපයීමද අඩාල වීමේ අවදානමක් පවතින බව GMOA වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button