
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා රජයේ වැඩපිළිවෙළ ඇගයෙයි
ශ්‍රී ලංකාවේ නව සමාජ හා ආර්ථික පරිවර්තනයක් උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා විසින් ඇගයීමට ලක් කර තිබේ.
අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම ඇගයීම ප්‍රකාශ කර ඇත.
මෙම හමුවේදී ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හා වංචා දූෂණ මර්දනය සඳහා රජය ක්‍රියාත්මක කර ඇති පුළුල් වැඩසටහනට සිය ප්‍රශංසාව පළ කරමින් ආශිර්වාදයද එක් කළේය.
තවද, ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර දිගුකාලීනව පවතින සබඳතා පිළිබඳව මෙන්ම, මෙරට ආර්ථිකයට බෝරා ප්‍රජාව ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට උන්වහන්සේ මෙහිදී කටයුතු කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ගෞරවයෙන් යුතුව ස්තූතිය පළ කළේය.
මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයන් ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක වාසය කරති.
මෙම හමුවට බෝරා ප්‍රජාවේ නායකයන් සහ නියෝජිතයන් පිරිසක් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද සහභාගී වූහ.



