ප්‍රධාන පුවත්

සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ නව රෙගුලාසි සඳහා කැබිනට් අනුමැතිය

දුරකථන සිම් කාඩ්පත් සඳහා ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක රෙගුලාසි සංශෝධනය කර නව රෙගුලාසි හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 2019 අංක 01 දරන ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට නියමිතව ඇත. මෙම රෙගුලාසි 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන අනුව 2019 අගෝස්තු 02 වන දින ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය එදිනෙන් පසුව නිකුත් කරන ලද සිම් කාඩ්පත් සඳහා පමණක් අදාළ විය.

ඒ හේතුවෙන් 2019 අගෝස්තු 02 ට පෙර ලබාගත් ඇතැම් සිම් කාඩ්පත් සම්බන්ධ ග්‍රාහක තොරතුරු දුරකථන සේවා සපයන සමාගම් සතුව නොමැතිවීම නිසා නීති විමර්ශන කටයුතුවලදී ගැටලුකාරී තත්ත්වයන් මතුව තිබේ.

මෙම පසුබැසීම මඟහරවා ගැනීම සඳහා, වයස අවුරුදු 16ත් 17ත් අතර ග්‍රාහකයින් ලියාපදිංචි කිරීම, මෙරටට පැමිණෙන විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීම ඇතුළු නව විධිවිධාන ද අන්තර්ගත කරමින්, දැනට පවතින රෙගුලාසි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button