ප්‍රධාන පුවත්

මහනුවර ඇසළ පෙරහැර කප් සිටුවීම අගෝස්තු 13දා

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අගෝස්තු මස 13 වැනිදා පෙරවරු 6 පසුවී විනාඩි 17ට යෙදෙන සුබ නැකතට අනුව සිදු කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙන ලදී.

ඒ අනුව අගෝස්තු 13 වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව 17 වැනිදා දක්වා නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමට නියමිතය.

පළමු කුඹල් පෙරහැර අගෝස්තු 18 වැනිදා ආරම්භ වන අතර, එය 22 වැනිදා දක්වා පැවැත්වේ. පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 වැනිදා පැවැත්වෙන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඉන් අනතුරුව අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වෙන අතර, එදින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරහැර සාර්ථකව අවසන් කළ බවට වන සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button