ප්‍රධාන පුවත්

වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලනීකරණය වී ඇතැයි GMOA චෝදනා කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දේශපාලන බලපෑම් යටතට ගෙන ගොස් ඇති බවයි. ඔවුන් නිකුත් කළ නිවේදනයකට අනුව, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අඩු කර ඇති අතර, එම ප්‍රදේශවල දුෂ්කරතා තවමත් පවතින බවද සඳහන් වේ.

එම තීරණය හේතුවෙන් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුව ඇති අතර, දුෂ්කර ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන්ට තිබූ ප්‍රධාන දිරිගැන්වීම වන විශේෂ ස්ථානමාරු අවස්ථාව ද දුර්වල වී ඇති බව GMOA පෙන්වා දෙයි. එමෙන්ම, වසරක සේවා කාලයකින් පසු ලබාදෙන මෙම ස්ථානමාරු අවස්ථාව වසර 02ක් දක්වා දිගු කිරීම නීතිවිරෝධීව සිදුකර ඇති බවද ඔවුන් චෝදනා කරයි.

GMOA වැඩිදුරටත් කියා සිටින්නේ 2025 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුවෙන් පුරප්පාඩු 78ක් නීතිවිරෝධී ලෙස ඉවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන්ට තමන්ට හිමිවිය යුතු ස්ථානමාරු අවස්ථා අහිමි වී ඇති බවත්ය. මෙම ක්‍රමවේදය 2026 වසරටද යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවද ඔවුන් අනාවරණය කරයි.

තෝරාගත් පිරිසකට පමණක් වාසිදායක ලෙස ස්ථානමාරු ලබාදීම සහ පලිගැනීමේ අරමුණු මත ක්‍රියා කිරීම නිසා වෛද්‍යවරුන් විශාල පිරිසක් අසීරුතාවයට පත්ව ඇති බව GMOA අවධාරණය කරයි.

එමෙන්ම, දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ අනුයුක්ත ලැයිස්තුව යන දෙකම නිසි ක්‍රමවේදයෙන් බැහැරව, තාක්ෂණික උපදෙස් නොසලකා දේශපාලනීකරණය කර ඇති බවද ඔවුන් කියා සිටියි.

GMOA අනුව, සාමාන්‍යයෙන් වෛද්‍ය ස්ථානමාරු සම්බන්ධ තීරණ සෞඛ්‍ය අමාත්‍යාංශ ස්ථානමාරු මණ්ඩලය විසින් සලකා බැලීමෙන් අනතුරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ප්‍රකාශයට පත් කිරීම නීත්‍යානුකූල ක්‍රමවේදයයි. කෙසේ වෙතත්, එම ක්‍රමවේදයෙන් බැහැරව කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ මෙම ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවද GMOA සඳහන් කරයි.

අවසානයේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රමවේද කඩකරමින් දේශපාලන බලය වැඩිදියුණු කර ගැනීමේ උත්සාහයක් සිදුකරන බවට GMOA චෝදනා කරමින්, මෙම ක්‍රියාවලිය වහා සමාලෝචනය කළ යුතු බවද අවධාරණය කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button