අධ්‍යාපන

සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමත් සමඟ පාසල් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියෙන් උද්ගත  වන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා, පාසල් සිසුන් ප්‍රවාහනයේදී මතුවන ගැටලු අවම කරමින් සම්පූර්ණයෙන්ම විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගනිමින් සිටී. ඒ යටතේ “සිසු සැරිය” පාසල් ප්‍රවාහන සේවය වඩා කාර්යක්ෂම සහ ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත.

පාසල් සිසු ප්‍රවාහන සේවය ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අද (09) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

එම සාකච්ඡාවේදී පාසල් සිසුන් ප්‍රවාහනය සුරක්ෂිත හා විධිමත් කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් අදහස් හුවමාරුවක් සිදු වූ බව සඳහන් වේ.

පාසල් සිසු ප්‍රවාහනය සම්බන්ධ නියාමන බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට හිමිව ඇති අතර, ඒ සඳහා අදාළ රෙගුලාසි කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇත. එම රෙගුලාසිවල අන්තර්ගත කරුණු සහ ඒවාට එක් කළ යුතු නව යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

එසේම, පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නීතිමය හා නියාමන ක්‍රමවේද හඳුන්වා දීම, ළමා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් පාසල් සිසුන් ප්‍රවාහනයේදී වාර්තා වන අපයෝජන සහ හිරිහැර වැළැක්වීම, එම සේවාව සපයන පුද්ගලයින්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කර වගකීම් සහගත සේවාවක් බවට පත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ළමා ආරක්ෂණ අධිකාරිය එකමුතුව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button