ප්‍රධාන පුවත්

2025දී මත්තලට වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක්

2025 වසර තුළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වාර්තාගත ගුවන් මගී සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම ප්‍රකාශ කරයි.

 

2013 වසරේ ගුවන්තොටුපොළ ආරම්භ කළ දින සිට මේ දක්වා වාර්තා වූ ඉහළම ගුවන් මගී සංචලන සංඛ්‍යාව 2025 වසරේදී සටහන් වී ඇති අතර, එම වසර තුළ ගුවන් මගීන් 140,614 දෙනෙකු මෙහෙයවීමට හැකි වී ඇති බව සමාගම සඳහන් කරයි.

 

එමෙන්ම ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ දත්ත අනුව, 2025 වසර තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ජාත්‍යන්තර ගුවන්යානා 703ක් සාර්ථකව මෙහෙයවා තිබේ.

 

පසුගිය වසර තුනක කාලය තුළ මත්තල ගුවන්තොටුපොළ ගුවන් මගී හැසිරවීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද වාර්තා වේ. නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපොළ කෙරෙහි යොමු කළ විශේෂ අවධානය මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන හේතුවක් බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පෙන්වා දෙයි.

 

අතීතයේදී ගුවන්තොටුපොළ ආශ්‍රිතව පවති던 වනජීවී ගැටලු හේතුවෙන් ආරක්ෂක කරුණු මත ගුවන් සමාගම් මත්තල වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වා තිබුණි. එහෙත් එම ගැටලු විසඳීම සඳහා නව රජය ගත් සාධනීය පියවර හේතුවෙන් 2025 වසරේදී ගුවන්යානා පැමිණීමේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ විශ්වාසය පළ කරමින් 2025 වසර තුළ යුරෝපය, මැදපෙරදිග සහ දකුණු ආසියාව සම්බන්ධ කරමින් ගුවන් සමාගම් කිහිපයක් මෙහි ගුවන් වාර ආරම්භ කර ඇත.

 

ඒ අනුව රුසියාවේ Red Wings, බහරේන් හා පාකිස්තානයේ සිට SkyUp, ඩුබායි සිට Fly One, උස්බෙකිස්තානයේ සිට Centrum Air සහ Uzbekistan Airways, බල්ගේරියාවේ සිට Bulgaria Air යන ගුවන් සමාගම් මත්තල වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබේ.

 

එමෙන්ම බෙලරූස් හි මින්ස්ක් නගරයෙන් Belavia ගුවන් සේවය 2025 වසරේදී ප්‍රථමවරට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමද විශේෂත්වයකි.

 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දේශීය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ළඟා විය හැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයටද එය වැදගත් දායකත්වයක් ලබා දේ. එසේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින අධික තදබදයට විකල්පයක් ලෙස මත්තල ගුවන්තොටුපොළ උපායමාර්ගික වශයෙන්ද විශේෂ වැදගත්කමක් දරයි.

 

මහජන මුදල් බිලියන ගණනක් වැය කර ඉදිකර, අතීතයේදී භාවිතයට නොගෙන අභාවයට යාමට ඉඩ හැර තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2025 වසරේදී වාර්තාගත ගුවන් මගී පැමිණීමක් සටහන් කිරීම, එම ගුවන්තොටුපොළ පිළිබඳ නව බලාපොරොත්තු උදා කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙසද සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button