ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවකයින් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

 

රාජ්‍ය සේවකයින් සහ පළාත් රාජ්‍ය සේවකයින් සියලුදෙනා හෙට (30) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඩපණ කිරීම සඳහා රජය විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බව එම එකමුතුවේ නියෝජිත ධම්මික මුණසිංහ මහතා චෝදනා කළේය.

කොළඹදී අද (29) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික මුණසිංහ මහතා මෙසේ පැවසීය.

“දැන් මේ වෙනකොට මාතලේ දිස්ත්‍රික්කයේ, මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගහලා තියෙනවා නිවේදනයක් සියලුම සේවකයින් හෙට සේවයට වාර්තා කරන්න කියලා. අපි මේවා දැක්කේ පොහොට්ටු ආණ්ඩුව තියෙද්දි. අපි මේවා දැක්කේ අනුප්‍රාප්තික රනිල් ජනාධිපති වෙලයි. දැන් වෘත්තීය සමිති නායකයෝ යැයි කියාගන්න ආණ්ඩුවක් ඇතුළෙත් මෙහෙම තමයි හැසිරෙන්නේ. හෙට දාලා තියෙනවා අමාත්‍යාංශවල විශේෂ කාරක සභා රැස්වීම් කියලා තියෙනවා. ඒ නිසා සොරි, ඔය මොන දේ තිබුණත් හෙට දවසේ කවුරුවත් රාජ්‍ය සේවකයෝ සේවයට වාර්තා කරන්නේ නෑ. අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා. ඒ නිසා කිසිදු දෙගිඩියාවක් තියාගන්න එපා. ප්‍රොබේෂන් එකේ ඉන්න, ස්ථිර නැති මේ සියලුම සමස්ත රාජ්‍ය සේවකයා, පළාත් රාජ්‍ය සේවකයා වෙනුවෙන් මේ සමස්ත යුනියන්, වෘත්තීය සමිති අනිවාර්යයෙන් පෙනී සිටිනවා. ආණ්ඩුවට කියනවා හෙට දවස ඇතුළේ මේකට නිශ්චිත උත්තරයක් දෙන්නේ නැත්නම් දෙසැම්බර් 14 අයවැය අවසන් කරන්න වෙන්නේ දැවැන්ත විරෝධතාවක් එක්ක කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.”

එමෙන්ම, හෙට දිනයේ සියලු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගී වන බවත්, පරිවාස කාලයේ සිටින සහ මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ සේවකයින් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය.

තවද, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට දිනය තුළ නිශ්චිත විසඳුමක් ලබා නොදුනහොත් දෙසැම්බර් 14 වැනිදා අයවැය අවසන් කිරීමේ අවස්ථාව දැවැන්ත විරෝධතාවක් මධ්‍යයේ සිදු කිරීමට සිදුවනු ඇති බවටද වෘත්තීය සමිති එකමුතුව රජයට අනතුරු ඇඟවීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button