ප්‍රධාන පුවත්

GMOA වැඩවර්ජනය ගැන තීරණය අද – සඳුදා වර්ජනයට එක්වෙයිද?

 

GMOA වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව අද (27) රැස්වීමට නියමිතව තිබේ.

එළැඹෙන නොවැම්බර් 30 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය එහිදී ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම තීරණාත්මක රැස්වීම අද පෙරවරුවේ පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

GMOA වැඩවර්ජනය සම්බන්ධයෙන් අද තීරණයක්

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු මෙන්ම ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් සාකච්ඡාවකට සූදානම් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුව ඇති බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කළේය.

“මේ රටේ රෝහල් පද්ධතිය ඇතුළේ දැවැන්ත සේවාවක් සිදුකරන මේ රටේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙනවා තියා අඩුම ගානේ සාකච්ඡා කරන්නවත් සූදානම් නැති ස්ථාවරයක තමයි ආණ්ඩුව ඉන්නේ. සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගෙන් අපි පස් වතාවකට වඩා ඉල්ලීම් කරලා තියෙනවා, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක්, සෞඛ්‍ය ඇමතිතුමාගෙන් තුන් වතාවක්. හැබැයි කවුරුත් සූදානම් නැහැ සාකච්ඡා කරන්න සහ ඒවාට පිළිතුරු ලබා දෙන්න. එහෙම තත්ත්වයක් තුළ තමයි අපිට සිද්ධවෙලා තියෙන්නේ මේ විදියට ආයෙත් වෘත්තීය ක්‍රියාමාර්ගය අරගෙන එන්න. තාමත් අපි සාකච්ඡාව සඳහා බලාපොරොත්තු වී ඉන්න අතරතුරේදී සාකච්ඡාව ලබාදෙන්නේ නැත්නම් මෙතනින් එහාට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නේ කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න, අද දවසේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. මෙහිදී අපි තීරණය කරනවා එළඹෙන සතිය ඇතුළේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවාද, 30 වෙනිදාද නැත්නම් වෙන දවසක්ද, ඒ වෘත්තීය ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණය මධ්‍යම කාරක සභාවෙන් පස්සේ අද දවසේදීම මේ රටට කියන්න සූදානමින් ඉන්නවා.”

මේ අතර, වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ දමා ඇති පසුබිමක තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීම සාධාරණ නොවන බවට ජනාධිපතිවරයා ඊයේ (26) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රතිචාර දැක්වීය.

මූලික වැටුප් වැඩි කිරීම පිළිගන්නා නමුත් එම කාලසීමාවේදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින ගෙවීම්වලින් කොටසක් කප්පාදු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“මූලික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අපි දිගටම කිව්වා ඒක හොඳයි, සාධනීය දෙයක්. හැබැයි මූලික වැටුප් වැඩි කිරීම සිදුකරන මොහොතේදී 2025 අවුරුද්දේදී වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවෙන් සහ නිවාඩු දින ගෙවීම්වලින් තුනෙන් එකක් කප්පාදු කළා. එතකොට ඒ කප්පාදුව ඇතුළේ ගෙවුණු අවුරුදු දෙක තුළ විතරක් අපි රුපියල් කෝටි 4400ක් මේ රටට ඉතුරු කරලා දීලා තියෙනවා. එතකොට එහෙම පසුබිමක තමයි අවුරුද්දකට රුපියල් කෝටි 10,000ක් උපයන්නට බදු ගෙවීමේ පසුබිමක තමයි මේ වෛද්‍යවරුන් එන්නේ අපි ආර්ථික අසාධාරණය විසඳන්න කියලා ඉල්ලීම් කරන්න. හැබැයි එතුමාම කිව්වා සාකච්ඡාවෙන් විසඳන්න පුළුවන් කියලා. එහෙම කියන ගමන් එතුමා සාකච්ඡා මේසයේ ඉන්නැතුව සාකච්ඡා මේසයෙන් මේ ආණ්ඩුව පැනලා යනවා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මයික්‍රෆෝනය ඉස්සරහා කියන දෙයි, ඇත්තටම සිද්ධ වෙන දෙයි අතර මේ පරස්පරයට හේතුව මොකක්ද කියලා.”

අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව වැඩවර්ජනය පැවැත්වෙන දිනය සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණය අද දිනයේදීම රටට දැනුම්දීමට සංගමය සූදානමින් සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button