සෞඛ්‍යය

ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් – නවතම අනාවරණයක්

ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් – නවතම අනාවරණයක්

ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා අනාවරණය කරයි.

පසුගිය දශකයක කාලය තුළ රැස්කරගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙරට ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පැහැදිලිව හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ජාතික ආඝාත සංගමය විසින් ඊයේ (26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් සහ ප්‍රතිකාර පහසුකම්වල අවශ්‍යතාව

මෙරට ආඝාත රෝගීන්ගේ වැඩිවීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා පවතින පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවද මහාචාර්ය උදය රණවක මහතා මෙහිදී අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය.

“අපේ කලාපයේ තියෙන ආඝාත ප්‍රවණතාවය ගත්තොත්, ශ්‍රී ලංකාවේ අපි හුඟාක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අපේ ගම්වල, ප්‍රදේශවල ජීවත් වෙන ජනගහනය ගත්තොත්, අපේ ගෙවල්වල ඉන්න අය ගත්තොත්, දහදෙනෙකුගෙන් එක්කෙනෙකුට ආඝාතයක් හැදිලා තියෙනවා අපි කරලා තියෙන සමීක්ෂණවලින් අපිට අවබෝධ වෙලා තියෙන හැටියට. ආඝාත රෝගීන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය ආඝාත ඒකක ශ්‍රී ලංකාවේ දැනට දහයක් පමණයි තියෙන්නේ. අපිට මීට වඩා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. අඩුම ගානේ හැම දිස්ත්‍රික්කයකටම, හැම ප්‍රධාන රෝහලකටම එකක් බැගින්වත්. ඒ වගේම ආඝාතයට මුල් අවධියේම ප්‍රතිකාර කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා, ඖෂධ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් රෝහල් කිහිපයයි තාම තියෙන්නේ. මේවා සියල්ලම අපි දියුණු කරන්න ඕනේ. අපේ රෝහල්වලට ඇතුළු වෙන ආඝාත රෝගීන් බැලුවොත් විශාල වැඩිවීමක් තියෙනවා ආඝාත රෝගීන් ඇතුළු වීමේ ප්‍රවණතාවයේ. ශ්‍රී ලංකාවේ සියයට හැත්තෑපහක් විතර මොළයේ නහර අවහිර වීමෙන් ඇතිවන ආඝාත තමයි තියෙන්නේ.”

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ දැනට මෙරට ක්‍රියාත්මක වන ආඝාත ප්‍රතිකාර ඒකක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවයි. එබැවින් සෑම දිස්ත්‍රික්කයකම සහ ප්‍රධාන රෝහල්වල ආඝාත ඒකක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ආඝාතය ඇති වූ මුල් අවධියේදීම ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය ඖෂධ සහ පහසුකම් සහිත රෝහල් සංඛ්‍යාව වැඩි කිරීමද කඩිනමින් සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button