
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සුබ පැතුමක්
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනය අද (18) දිනට යෙදී තිබේ. ඒ වෙනුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සංවේදී සටහනක් පළ කරමින් පියාට සුබ පැතුම් එක්කර තිබේ.
මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්
1945 නොවැම්බර් 18 වැනිදා දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේදී උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා අද සිය 81 වැනි උපන්දිනය සමරයි.
දශක ගණනාවක් මෙරට දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ ඔහු 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ 2009 වසරේදී දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙරට යුද්ධය අවසන් වීම ඔහුගේ දේශපාලන ගමන්මගේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකේ.
වෘත්තියෙන් නීතිඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 වසරේදීය. අනතුරුව 2004 අප්‍රේල් 6 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔහු 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන තෙක් එම තනතුර හෙබවීය.
2005 නොවැම්බර් 19 වැනිදා පළමු ජනාධිපති ධුර කාලය සඳහා දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනවාරි 27 වැනිදා දෙවැනි ධුර කාලය සඳහා නැවතත් තේරී පත්විය.
කෙසේ වෙතත්, 2015 ජනාධිපතිවරණයේදී තෙවැනි ධුර කාලයක් අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පරාජයට පත්වීමත් සමඟ 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉවත්විය.
ඉන් මාස කිහිපයකට පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ගත් උත්සාහය ද 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වීම හේතුවෙන් සාර්ථක වූයේ නැත. පසුව ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.
මේ අතර, සිය පියාගේ උපන්දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තැබූ ෆේස්බුක් සටහනේදී පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටින තත්ත්වය පිළිබඳව ද සඳහන් කර තිබේ.
එමෙන්ම පියෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආදරය, ආදර්ශය, ඉවසීම සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ගුණාංග පිළිබඳව ද ඔහු සිය සටහනෙන් සිහිපත් කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සම්පූර්ණ සටහන මෙසේය.
ආදරණීය තාත්තේ,
මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.
ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.
තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.
අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.
අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද මගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.
දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.
සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!
හදපිරි ආදරයෙන්,
ඔබේ ආදරණීය ලොකු පුතා,
නාමල්



