ප්‍රධාන පුවත්

වායු දූෂණය ඉහළට: දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්වය අහිතකර වෙයි

වායු දූෂණය ඉහළට: දිවයිනේ ප්‍රදේශ රැසක වායු තත්ත්වය අහිතකර වෙයි

දිවයිනේ ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය අහිතකර මට්ටම ඉක්මවා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

වායු දූෂණය ඉහළට යාමෙන් පළාත් කිහිපයක වායු තත්ත්ව දර්ශකය 200 ඉක්මවයි

එහි පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වායු තත්ත්ව දර්ශකය 200 ඉක්මවා ගොස් ඇති බවය.

පසුගිය දින කිහිපය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති කැලඹිලි සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් දේශසීමා හරහා සිදුවන වායු සංසරණය ඔස්සේ වායු දූෂක අංශු මෙරටට ඇතුළුවීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල එළිමහනේදී මීදුමට සමාන ස්වභාවයක් දක්නට ලැබෙන අතර, එය වායුගෝලයේ රැඳී පවතින දූවිලි සහ අනෙකුත් අංශු නිසා ඇතිවන තත්ත්වයක් බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

දැනට ලැබී ඇති දත්ත අනුව මෙම තත්ත්වය තවත් දින තුනක් හෝ හතරක් පමණ පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පවතින කාලගුණික කැලඹිලි සහ වායු සංසරණ රටාවන් අනුව එහි කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්, ශ්වසන රෝගවලින් පෙළෙන අය සහ වායුගෝලයේ පවතින දූවිලි අංශු සම්බන්ධයෙන් අසාත්මිකතා ඇති පුද්ගලයන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.

එවැනි පුද්ගලයන්ට අසාත්මිකතා හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තවද, උදෑසන කාලයේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවත්, ඉදිරි දින කිහිපය තුළ එය පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා,

“මධ්‍යම පරිසර අධිකාරී විදිහට අපි නිරන්තරයෙන්ම අපේ වායුගෝලයේ තත්ත්වය ගැන අපි සොයා බලනවා. අපිට ඊයේ දිනයේදී දකින්න ලැබුණා මෙම වායුගෝලයේ තියෙන ගුණාත්මකභාවයේ අඩු වීමක්. විශේෂයෙන් අපිට දැකගන්න පුළුවන් වුණා උතුර, ඒ වගේම උතුරු-මැද වගේ ප්‍රදේශවල වායුගෝල තත්ව දර්ශකය ඉහළ යාමක්. ඒ අගය 150ත් 200ත් අතර ප්‍රමාණයක් ගත්තා. අපි දන්නවා පහුගිය දින කීපය තුළ බෙංගාල බොක්ක ප්‍රදේශයේ තිබුණු ඒ කැලඹිලි ස්වභාවයත් නිසා, අන්තර් දේශසීමා අතර සිදුවන වාතය සංසරණය නිසා අපේ රටට වායු දූෂක කාරක ඇතුල් වෙලා තියෙන එක තමා මේකට ප්‍රධාන හේතුව. ගොඩක් වෙලාවට එළියට ගියාට පස්සේ අපිට දකින්න හම්බවෙන්නේ මීදුම් වගේ ස්වභාවයක්. ඇත්තටම ඒ වාතයේ තියෙන අංශු තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ.

ඉතින් ඒ තත්ත්වය අද වෙනකොට තවදුරටත් වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන් උතුර, උතුරු-මැද, ඒ වගේම බස්නාහිර, නැගෙනහිර වගේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මෙම අගය අහිතකර මට්ටම දක්වා, ඒ කියන්නේ 200ට වැඩි අගයක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව විදිහට අර විදිහට මම සඳහන් කරන්න තියෙන්නේ මේ වාතයේ අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය. ඉතින් මේකෙදී අපි කියන්න තියෙන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා, විශේෂයෙන් මේ අසාත්මිකතාවලට, ඒ කියන්නේ වාතයේ තියෙන ඒ ධූවිලි අංශවලට ඒ වගේ දේවල්වලට අසාත්මික පුද්ගලයෝ ඉන්නවා. ඒ කියන්නේ අසාත්මිකතාවයක් ඇති වුණොත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න කියලා මධ්‍යම පරිසර අධිකාරී විදිහට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button