
බිත්තර මිල යළි ඉහළට – රුපියල් 45 දක්වා මිල වැඩිවෙයි
බිත්තර මිල යළි ඉහළට යාමත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.
උත්සව සමය ආසන්න වීමත් සමඟ බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම සහ නිෂ්පාදනය පහළ බැසීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එම සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ මහතා සඳහන් කළේය.
බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය ඉහළ යාමද වත්මන් මිල වෙනස්වීමට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරසිරි මාරිසිංහ මහතා මෙසේ පැවසීය.
“අධික වර්ෂාව නිසා දේශගුණික තත්ත්වය වෙනස් වුණා. ඒකෙන් 80%ක් විතර නිෂ්පාදනය කළ සත්තු 50 % – 60%ට අඩුවුණා. අනික පහුගිය ටිකේ සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය මිලත් ඉහළ ගියා. ඒ නිසා නිෂ්පාදන වියදම වැඩිවෙලා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය නිසා බේකරි නිෂ්පාදනවල වැඩ පටන් ගෙන තියෙනවා. ඒ නිසා බේකරිවලටත් බිත්තර වැඩිපුර යනවා. මේ නිසා තමයි බිත්තර මිල වැඩි වීමක් තියෙන්නේ. ඉල්ලුම හා සැපයුම නිසා මිල වැඩිවීමක් මිසක් කෘත්‍රීම මිල වැඩිවීමක් අපිට පේන්නේ නෑ.”
මේ අතර, පවතින බිත්තර මිල ඉහළ යාමේ තත්ත්වය ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, බිත්තර සැපයුම අඩුවීම සහ උත්සව සමයේ ඉල්ලුම වර්ධනය වීම හේතුවෙන් ඉදිරි කාලය තුළද බිත්තර මිල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.



